Tuesday, July 5, 2011

ඔයා සතුටින්ද?


ඔයා සතුටින්ද?
ඔව් මං හුඟක් සතුටින්
මඟුලකදි මල ගෙදරකදි
මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි
පොඩි පොඩි විහිළු වලටත්
මහ හඬින් හිනා වෙනවා මං...

අල ගෙඩි වගේ මහත
තක්කලි වගේ පාට
හුරුබුහුටි පොඩි උන්
දෙන්නෙක්ම ඉන්නවා මට...

ඔසරීය හැඩට අන්දා
ඕනෙම මහ සබාවක
ඉස්සර කරන් යා හැකි
පිත්තල වගේ දිලිසෙන
ගෑනියෙක් ඉන්නවා මට
දෑවැද්දකුත් එක්කම
අම්මා හොයා දූන්...

හදන්නට ගෙය
හත් අට පොළකින්ම ගත් ණය
ගෙවන්නට ඇතත් මැරෙනකං
මහ ලොකුවට නැතත්
තියනවා මට මගෙම
කැතක් නැති ගේ පොඩිත්තක්
ඔහේ වැටිලා ඉන්නට

රීදෙන්නේ නැතිව
ඉඳිකටු තුඩු මතින්
ඇවිද යන හැටි දැන්
දන්නවා හොඳහැටි මං

ඉතින් මං සතුටින්
පොඩි පොඩි විහිළු වලටත්
මහ හඬින් හිනා වෙනවා මං...
තවත් වෙන මොනවද මිනිහෙකුට
මං හුඟක් සතුටින්

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails