අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම ඩයස්ලාදා බොහෝමය. ඩයස් අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලාය. අපේ කිව්වාම ද අය බොහෝමය. කිරිහාමිගෙ ලොකු කොලූ, මැගිලින්ගෙ හීන් එකා, අප්පු හාමිගෙ මද්දුමී ඔය ඔක්කොම අපේ අයය. ඩයස්ලා පංතියෙ ඉස්සරහින්මය. අපේ අය පිටිපස්සෙන්මය. ඩයස්ලා පංතියෙ පළමුවැනියෝය. දෙවැනියෝය, තුන්වැනියෝය. අපේ අය හැමදාම අන්තිමයෝය.
පංතියෙ ගුරුවරුද ඩයස්ලාගෙ පැත්තෙමය. ඉංග්‍රීසි ටීචර් ඩයස්ලාගෙ පැත්තෙමය.ගණිත ගුරුවරයාද ඩයස්ලාගෙ පැත්තෙමය. විෂයන් අටම ඩයස්ලාගෙ පැත්තෙමය. හාමුදුරුවන් පමණක් දෙපැත්තේමය. හාමුදුරුවෝද සමහරවිට ඩයස්ලාගෙම පැත්තේය. ඒ ඩයස්ලා ගොඩක් පින් කර ඇති බැවිනි. හාමුදුරුවෝ කියන විදිහට අපේ අය පව්කාරයෝය. හැමදාමත් පව්කාරයෝය.
ඩයස්ලා පාන්දරම පාසල් එති. ඒ කාර්, වෑන් ආදි අමුතු තාලයේ වාහන වලින්මය. වාහන වලින් බහින ඩයස්ලා ඩැඩීලාට, මමීලාට හාදු දෙති. ඩැඩීලා, මමීලා ද ඩයස්ලාට හාදු දෙති. හාදු දී බායි කියති. ඩයස්ලාද බායි කියති. ඉන්පසු ඩයස්ලා පාසලට එති. අපේ අය පාසල් එන්නේද පාන්දරින්මය. හැතැප්ම 3ක් පමණ පයින්මය. සෞඛ්‍ය ටීචර් කියන විදිහට පයින් ඇවිදීම ශරීරයට ව්‍යායාමයක්ය. ඒ නිසා අපේ අය බස් තිබුණත් පයින්ම එති. පයින් නො ආවත් ඩයස්ලාගෙ සෞඛ්‍යය හොඳය. හැමදාමත් පයින් එන අපේ සෞඛ්‍යය අන්තිම නරකය.
ඩයස්ලා අඳින්නෙ නිල්ම නිල් පාට කලිසම්ය. සුදුපාට කමිස පොඩිය. ඩයස් නංගිලා, අක්කලා අපේ අය සමග කතා නොකරති. ඩයස්ලා දාන්නෙ කළුපාට සපත්තුය. සුදුම සුදු මේස්ය. අපේ අයගෙ ඇඳුම් සරම් කෙටියය. කඩමාල්ලය. දෙපයට ගෙවුණු රබර් සෙරෙප්පු දෙකය.
ඩයස් අයියලා අක්කලා තරමක් හොඳය. ඩයස්ලාද තරමක් හොඳය. ඩයස් නංගිලා, මල්ලිලා අපට නරකය. ඒ ඩයස් නංගිලා මල්ලිලා අපේ අයට ගසන නිසාය. ඒ කෝක උනත් ඩයස්ලා සැවොම ලොකු මහත්තයාට හොඳය. අපේ අය අන්තිම නරකය. ඒත් හිටපු ගමන් අපේ අයද ලොකු මහත්තයාට හොඳය. ඒ අපේ අයගෙන් ලොකු මහත්තයාට වැඩක් කරගැනීමට උවමනා වූ විටය.
ඩයස්ලා ඉන්නෙ අපේ වත්තට එහා වත්තේය. එහා වත්තෙ කිවුවට ඩයස්ලාගෙ හා අපේ වතු මැදින් විශාල තාප්පයකි. ඒ තාප්පයෙ එහා පැත්තෙ ඩයස්ලාය. මෙහා පැත්තෙ අපේ අයය. එහා පැත්තෙ ඩයස්ලාට මෙහා පැත්තෙ අපව නොපෙනේ. ඒ තරම තාප්පය විශාලය. ඒත් සමහර දාට අපේ අය එහා පැත්තට යති. ඒ ඩයස්ලට උදවු ඕනෑ විටය. අපේ අය එහේ ගොස් පොල් කඩති. පොල් ගාති. පොල් අදිති. ඒත් කවදාවත් ඩයස්ලා අපේ පැත්තට නො එති. ඒ අපිට ඩයස්ලාගෙ උදව් ඕනෑ නැති නිසාය.
ඩයස්ලාගෙ ඩැඩීලාගෙ පරම්පරාව මහ විශාලය. ඩයස් මමීලාගෙ පරම්පරාවද එහෙමය. ඩයස් ඩැඩීලා දොස්තර වරුය. මමීලාද දොස්තරවරුය. ඩැඩීලාගෙ මල්ලිලා බාප්පලා ඉංජිනේරුවරුය. මංත්‍රිවරුය. මමීලාගෙ උදවියද ඊට දෙවෙනි නැත. මමීලාගෙ පප්පා නඩුකාරයෙකි. ලොකු උදවිය කියන විදියට බැරිස්ටර් කෙනෙකි. අපේ අයගෙ සීයල ගොයියෝය. තාත්තලා ගොයියෝය. අම්මලාද ගොයියෝය. මුළු මහත් පරම්පරාවම ගොයියෝය. මුළු දවසම ඉන්නෙ කුඹුරේය. මුළු ඇඟේම මඩය. ලොකු මහත්තය කියන විදියට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වූයෙ ඉස්සරය. දැන් මඩ සෝදා ගත් කල ගොයියා කිසිම දේකට සුදුසු නැත.
ඩයස්ලාගෙ ගෙදර බල්ලන් තුන් හතර දෙනෙකි. උන්ට ඇත්තෙ අමුතුම තාලයෙ නම්ය. ටාසන්, ලේසර්, ගෝල්ඩි උන්ගේ නම්ය. උන් ඩයස්ලාට හරිම කීකරුය. ඩයස්ලා උන්ව හවසට ඇවිදින්නට එක්ක යති. කුඩා ළමුන් මෙන් සුරතල් කරති. ඒ නිසා උන් කවදාවත් ඩයස්ලාට බුරන්නෙ නැත. ඒත් උන් අපේ අය දැක්ක තැන බුරති. ඒ උන්ගෙ හැටිය. උන් කන්නෙ මස්ය, මාළුය, බේකන්ය. අපේ අයටද බල්ලන් තුන් හතර දෙනෙක් වෙති. උන් අහුවෙන හැම දෙයක්ම කති. උන් කාටවත් බුරන්නෙ නැත. කවුරු හෝ උන්ට බිරුවත් උන් ගනන් නොගනිති. උන් කාටත් නැට්ට වනති. ඒ උන්ගෙ හැටිය.
ඒ කෙසේ වෙතත් ඩයස්ලාත් අපිත් මිනිසුන්මය; ඩයස්ලාගෙ බල්ලනුත් අපේ බල්ලනුත් බල්ලන්මය. අපි හා ඩයස්ලා අතර වෙනසක් නැත. නමුත් ඩයස්ලා ඩයස්ලාමය. අපි අපිමය. ඩයස්ලා තවමත් කාර්, වෑන් වලින් යති. පළවැනියෝ වෙති. කොල නිල් කලිසම් අඳිති. ඒ ඩයස්ලාගෙ හැටිය. අපේ අය තවමත් ව්‍යායාමයට පයින් යති. සරම් කෙටි අඳිති. අන්තිමයෝ වෙති. ඒ අපේ අයගේ හැටිය.
[උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කළ 'පුබුදු' සඟරාවෙන්]
No comments:
Post a Comment