Tuesday, July 6, 2010

ඉතා යහපත් මහරජ!

ඉතා යහපත් මහරජ!


නිමිත්ත : පුවත්පත් වාර්තා කියන පරිදි දැන් පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගැනීම ජයටම සිදුවේ

"රති සුඛ සාරේ ගත මභිසාරේ මදන මනොහර වේශම්"

වෘන්දා වන උයන් තෙර
මල් පෙති අතුල යහනත
රාධා බලා හිඳිනී

ඒ හුඟක් ඉස්සර
(ශිෂ්ඨාචාර යුගයට
හුඟක් ඉස්සර වෙන්නැති)
පොරණ කිවිඳුන් වැනූ ප්‍රේමයයි.

මෙ තැන
දැන් මේ මොහොතේ

"පතති පතත්‍රෙ විචලති පත්‍රෙ සංඛිත භවදු පයානම්
සචකිත නයනේ...."

බැටන් පොලු අතින් ගත් කාවලුන්
හඹා එන බර අඩි හඬ
ළඟ ළඟම ඇසෙනුයෙන්
සැකෙන් වටපිට බලන
නුරා බර රත් නුවන්
බිය වැද නිතින් වෙවුලයි.

මෙතැන
මේ දැන්
මිනී මැරුමක් ද?
නැත
සොරකමක්වද?
නැත නැත
රළු පරොස් වදන් ඇති
පෝස්ටරයක් වත්
අඳිනවාවද කොල්ලෙක්?

නැත ස්වාමිනී
සත්තයි

උන්
මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා පමණයි

"ලලිත ලවංගලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ"

"රතොට රතැදීයෙම්
කොපුල් පතලේ බිඳියෙම්
තන හස මුස කළෙම්"

එ පද බැඳි උතුම් රජ පරපුරින් පැවත එන
ඉතා යහපත් මහරජ
අනේ මේ ඇත්තමයි

උන් මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා විතරයි.

http://www.boondi.lk

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails