Tuesday, July 6, 2010

තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග!



ස්වයං රැකියා අත්වැල-
එකමත් එක රටක් තිබුණා. හරියට ලංකා‍ව වගේ. ඒකටත් ලංකාවට වගේ නොයෙකුත් අන්වර්ථ නම් තිබුණා. හරියට ලංකාවට ඉන්දියන් සාගරේ මුතු ඇටය, බුවාලන්තය, ආසියාවේ ආශ්චර්ය කියනවා වගේ. ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළව ඒ ඒ අන්වර්ථ නම් තියෙන නිසා මේ මං කියන්න යන කතාවට ගැලපෙන්න ඒ රටට කිව්වේ "කොමිස්ලන්තය" කියලයි.

මම ඉස්සෙල්ලා ලංකා‍ව වගේ රටක් කියලා නිකමට කිව්වට ඇත්තටම පුදුමයට කාරණය කියන්නේ මේක ලංකාව වගේම රටක් වීමයි. ඒකට ඉතිං මට කරන්න දෙයක් නැහැ. ලෝකේ එකවගේ දෙවල් කිහිපයක් තියෙනව කියලා කතාවකුත් තියෙනනේ. කොහොමහරි මේ දෙක පටලවගන්න නම් එපා.

මං කිව්ව වගේම "කොමිස්ලන්තේ" මිනිස්සුත් ලංකාවේ වගේම තමයි. ගොඩාක් මිනිස්සු තමන්ගේ ජීවිතේම කැපකරලා රස්සා කරනවා. ඒ මිනිස්සු හැමදාම මැරීගෙන වැඩකරනවා. ඒත් තව කොටසක් උපක්‍රමමශීලීව සල්ලි හම්බකරන්න ඉලක්ක කරගෙන වැඩකරනවා. එහෙම කට්ටිය ගොඩක්ම කරන්නේ "මාර්කටින්" වගේ තව කෙනෙක්ව අන්දන ජොබ්. ඒ ඇරෙන්න කොමිස් ගහන, පගා ගහන, එන්ජීඕ ඩොලර් හොයන ඔය ඔක්කෝටම වඩා දේශපාලනයට ගිහිල්ලා තමයි කෝටි ප්‍රකෝටිපතියෝ වෙලා තියෙන්නේ. මේවා නං ඉතිං ලංකාවට අදාළ නැහැ කියලා ඔයාලා දන්නවනේ.

ඒ කොහොම වුනත් ලංකාවට සමාන ලක්ෂණ තියෙන හින්දා "ඉක්මණින්ම කෝටිපතියෙක් වෙන හැටි" ඔයාලටත් අත්හදා බලන්න කියලා දෙන්න ඕන කියලා හිතුනා. තමන්ගේ ඇ‍ඟේ තියෙන ලැජ්ජාව, බය , ආත්ම ගෞරවය වගේ ඉල්ලුම් සැපයුම් න්‍යායට ගැ‍ලපෙන්නේ නැති හැඟීම් අවයව ටික කපලා දැම්මම මගේ පාඩම හොඳින්ම
භාවිතාකරන්න පුළුවන් වේවි.

ක්‍රමය කියන්න ඉස්සෙල්ලා "කොමිස්ලන්ත" වටපිටාව පොඩ්ඩක් කියල ඉන්නම්. සමහර දේවල් ලංකාවේ වගේම වගේ කිව්වත් මේවා පටලවගන්න එපා කියලා මම මුලින්මත් කියලා තියෙනවා කියල මතක තියාගන්න.

කොමිස්ලන්තේ පාලනය කරන්නේ නිලනොවන රජෙක්. මම එහෙම කිව්වේ රටේ නීතියට අනුව යාවජීව ජනාධිපතිකමක් ජනාධිපතිතුමාට පවරලා තියෙනවා. ‍ප්‍රාන්ත පාලනය තමන්ගේම ලේනෑයන් වගේම, මීළඟට රජවීම සඳහා රජතුමාගේ පුතාත් දත කට නියවගෙන ඉන්නවා. මෙහෙ ඉන්න මොළකාරයෝ ක්ෂණයෙන් කෝටිපතියන් වීම සඳහා සූක්ෂම, ඒත් ඉතා පහසු ක්‍රමම භාවිතා කරනවා.

රටේ නිෂ්පාදනයක් නැති නිසාත්, පිටරටින් ණයට ගන්න සල්ලි වලින්, පිටරටින් එන බඩුගන්න හින්දත් රට ඇතුලේ දේකට සම්බන්ධ වෙලා කෝටිපතියෝ වෙන එක ලේසි වැඩක් නෙවෙයි. අනික එහෙම වුනත් ඒක සක්විති පන්නයේ ගේමක් වෙන්න ඕන. එහෙම කරලා මිනිස්සුන්ගේ ශාපෙ වැදිලා තමන්ගේ කර්ම ඵලයක් වගේ තමන් පස්සේ එයි කියල බයකුත් ඒ රටේ ඉන්න මින්ස්සුන්ට තියෙනවා.

මෙකී නොකී දෙවල් නිසා "ක්ෂණික කෝටිපතියන් වීම" වගේ දේකට මේ අය සම්බන්ධ වෙන්නේ ලංකාවේ වගේ "විදේශ ආධාර" ලබන යෝජනාවලට, ව්‍යාපෘතිවලට. විදේශ ආධාර දෙන්න ඒ ඒ රටවල රජයන්ම සෘජුව සම්බන්ධ වුනු ආයතන තියෙනවා. හරියට US AID, EUROPIAN COMMISSION, GTZ, JAICA, NORAD වගේ අය ලංකාවට දෙනවා වගේ.

අර අපි ඉස්සෙල්ලා කිව්ව රටවල් වගේ රටවල් ධනවාදී ක්‍රමය හොඳින් ස්ථාවර වෙලා තියෙන නිසාත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රික ව්‍යුහය ශක්තිමත් නිසාත් විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ධනේෂ්වර පන්ති ක්‍රමය ශක්තිමත් කිරීම, ලිබරල් ක්‍රමය ස්ථාවර කිරීම, ධනේෂ්වර ප්‍රතිවිරෝධතා මර්දනය වගේ දේවල් පළල් ලෙස ඉලක්ක කරන හින්දා තමන් විසින් ලබාදෙන ආධාර ගෙඩිය පිටින් ගසාගෙන කන්න කාටවත් ඉඩතියන්නේ නැහැ. අඩුම තරමින් මේ ආධාර හින්දා ඔවුන්ට ගැති ආයතන ව්‍යුහයක්, ප්‍රභූ පිරිසක් වත් අදාළ ආධාර ලබාගන්නා රටේ ස්ථාපිත කර තියෙනවා. ඒක හින්දා මේ වගේ විදේශාධාර ලබාගෙන හොඳට ජීවත්වෙන්න හැකියාව ලැබුණත් කෝටිපතියෙක් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඉතිං කෝටිපතියෙක් වෙන්න නම් ආධාර ලබාගන්න ඕන ඉස්සෙල්ලා මම කියපු පුර්ව ගතිගුණ නැති රටවලින්. ඒ කියන්නේ ධනේෂ්වර පන්ති වුවමනාවන් සඳහා සෘජුව පෙනී නොසිටින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුණු, අළුතින් ආර්ථික ලෝක ආර්ථික ආධිපත්‍යය ලබාගන්න පොර කන රටවල් වලින්. හරියට ලංකාව වගේ රටකට ඉන්දියාව, චීනය වගේ රටවල්. මොකද හරියට ප්‍රජාතන්ත්‍රවාදය තබා නාමික සභ්‍යත්වයවත් හරියට ස්ථාවරව නැති හින්දා ආධාර ලැබෙන රටේ ඉන්න පාලකයින්ගේ ‍ඕනෑම ගෝත්‍රික වැඩකට මේ අය එකඟ වෙනවා. එහෙම කරනකොට "ක්ෂණික ‍කොටිපතියන්" බිහිවීමේ ඉඩකඩ පළල් වෙනවා.

ඉතිං ක්ෂණික කොටිපතියන් බිහිකරන "කොමිස්ලන්තෙ" ක්‍රියාවලිය ඉතාම සරල දෙයක්. ඒකට මුලින්ම කරන්න ඕන පාලනයේ ඉන්න රජතුමා හා ඔහුගේ පවුලේ අයට හිමින් සිරුවේ සමීප වීම. කෝටිපතියෙක් වෙන්න යන ගමනක් හින්දා තමන්ගේ අම්මා, තාත්තා, ළමයා, බිරිඳ තබා මුළු ලෝකයම වුනත් පාවා දෙන්න දෙපාරක් හිතන්න ගියොත් නං ඕං වැඩේ කෙරෙන්නෙ නෑ...!

ඊට පස්සේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ආර්ථික ආයෝජනය කරන්න පුළුවන් තැනක් හොයාගන්න ඕන. කොමිස්ලන්තේ අගනුවර හැරුණුකොට අනෙක් කිසිම දිස්ත්‍රික්කයකවත් යටිතල පහසුකම් තබා මූලික පහසුකම් වත් ක්‍රමවත්ව ගොඩනඟලා නැති හින්දා මිලියන 1000 ඉක්මවන යෝජනාවලික් ඉදිරිපත් කරන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. කොමිස්ලන්තේ තියෙන කටපාඩම් අධ්‍යාපන ක්‍රමය හින්දා නිර්මාණාත්මක චින්තනයක් නැති එකේ කොටුවට එළියෙන් පොඩ්ඩක් හිතුවනම් එච්චරයි.

දැන් අපි බලමු කෝටිපතියා හැදෙන්නේ කොහොමද කියලා….!

විදේශ ආධාර ගන්න හදන හින්දා අපි ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න ඕන ඇමරිකන් ඩොලර් වලිනුයි. උපකල්පනය කරමු අපි ඩොලර් මිලියන 2000 ක ඇස්තමේන්තුවක් හැදුවා කියලා. ඒක හැදුවට පස්සේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක අර කියපු කොමිස්ලන්තේ රජ පවුලට ලංවෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් ඉතිං තමන්ගේ අදහසේ සංකල්පය ගැන කෙළපිඩක් වත් එළියට නොදාන්න පරිස්සම් වෙන්න ඕන. නැත්තං තමන්ට ඉස්සෙල්ලා වෙන කෙනෙක් කෝටිපතියෙක් වෙයි තමුන්ගේ යෝජනාව විකුණලා.

රජතුමාගේ එක්ක එක කුසේ බල්ටි ගැහුව කෙනෙක් තමයි කොමිස්ලන්තේ සම්පුර්ණ ආර්ථික සංවර්ධන කටයුතු භාරව ඉන්නේ. රට සංවර්ධනය තබා‍ පොලිස් කාරයෙක්ට රුපියල් සීයයක් වත් ගන්න බැහැ ‍මේ මිනිහට නොදී. ඉතිං තමන්ගේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක ගිහිං මේ කොමිස් ඇමතිතුමාට 10%ක කොමිස් මුදලක් (ඒ කියන්නේ ‍ ව්‍යාපෘතියේ මුදලින් ඩොලර් මිලියන් 200ක්) දෙන්න එකඟ කරවාගන්න ඕන. එතන තියෙන්නෙ ව්‍යාපෘති යෝජනාවේ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක භාවය පිළිබඳව ඇතිවෙන පරස්පරතා නෙවෙයි, තනිකරම කොමිස් මුදලේ ප්‍රමාණයට එතුමා කොච්චර දුරට එකඟවෙනවද කියන ප්‍රශ්ණයයි. ඉතිං තමන්ගේ තියෙන කේවල් කිරීමේ හැකියාව අනුව මේ ප්‍රතිශතය 7%කට විතර අඩුවෙන්නත් 15%කට විතර වැඩිවෙන්නත් පුළුවන්. මේක හරියට දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. මොකද වැඩේ වැරදුනොත් "දේශද්‍රෝහියා" කියන සන්නම් නාමය නොමිලේ ලබාගන්නත්, ජීවිතාන්තය දක්වා හිරේ ලගින්න උනත් කටයුතු ‍සැලසෙන්න පුළුවන්.

ඕං දැන් ලොකුම වැඩේ ඉවරයි. ඊට පස්සේ ඉන්නවා කොමිස්ලන්තේ භාණ්ඩාගාරයේ ප්‍රධාන පරිපාලකයා. මිනිහා කොහොමටත් රජා වෙනුවෙන් බෙල්ල තියන්න සූදානමින් ඉන්නේ. මොකද රජාගේ දූෂණ වුනත් මිනිහාගේ කරින් යන්න පුළුවන්. රජවරුවන්ගේ හැම දූෂණයකට හවුල්වෙලා පනිෂ්මන්ට් එහෙමත් කාලා තියෙන පළපුරුදු මහත්මයෙක් තමයි මෙයා. මිනිහත් 2% ඉඳන් 4% දක්වා කොමිෂමක් ඉල්ලනවා. ඒකත් දීලා කොහොමහරි ව්‍යාපෘතිය ‍අනුමත ‍කරගත්තොත් වැඩේ අමාරුම කොටස ඉවර වෙනවා.

බැලූ බැල්මට මේ වැඩේ ඇතුලේ ලොකු ඇඟ වෙහෙස කරවිලිවත්, වෙන අනංමනං කරදර වත් පේන්න නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ලොක්කන්ට අදහසක් දිලා තමනුත් ඒකෙන් ගානක් තියාගන්න එක. හැබැයි පුතෝ, ඕං මුන් ලෝක අණ්ඩයෝ. ඒක හින්දා තමයි ගේමක් ගහන්න යන කෙනා සීරුවෙන් වැඩ කරන්ඩෝනේ. එතනදි ගොඩාක්ම පිරිසකට වෙන්නේ තමන්ගේ යෝජනාව කුණුකොල්ලෙට පැහැරගන්න දීලා බලන් ඉන්න වෙන එකයි. ඒක වෙන්නේ මෙහෙමයි.

මම මුලින්ම කිව්වා වගේ මේ ගේම් හොඳට ගහන්න පුළුවන් අළුතින් ආර්ථික ආධිපත්‍යය දරන්න ආපු රටවල් එක්කයි. බොරුවට පිටට පේන්න තිබුණත්, මේං මේ කස්ටිය සභ්‍යත්වය, සදාචාරය තඹ සතයකටවත් ගණන් ගන්නේ නැහැ. හරියට ඔය ලිංගික පාපය ගැන කුහක බණ කියන එකෙක් ඇස්වහපු ගෑණියෙක් එක්ක ඇඳක තියනවා වගෙයි. තමන් කියන්නේ මොනවද කියලවත් මුන්ට අමතක වෙනවා.

තුන්වෙනි ලෝකයට තමන්ගේ ආධිපත්‍යය දාන්න අවස්ථාවක් ආපු ගමන් කිසිම දෙයක් හොයන්න උන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතිං මේක ගැන දන්න අපේ රජතුමාගේ එක කුසේ බල්ටි ගැහුව පුංචා කරන්නේ තමන්ට කවුරුහරි අදසහක් දාපු ගමන් අදහස කියපු මිනිහටත් හොරෙන් කෙළින්ම අර ආධාර දෙන රටට ගිහිං අමු අමුවේ විකුණලා තමන්ගේ කොමිස් මුදල ස්විස් බෑන්ක් අකවුන්ට් එකට දා ගන්න එකයි. එතනින් පස්සේ තමන්ට එල්ලවිය හැකි ‍චෝදනා ගැන දන්න හින්දා මුලින්ම කරන්නේ අර යෝජනාව දාපු මිනිහව නැත්තට නැති කරන එකයි. ඒකත් එක්ක ගත්තම "ක්ෂණීක කෝටිපතියා" වීම පහසුයි වගේම භයානකයි…!

අවසාන වශයෙන් කෝටිපතියා බිහිවෙන්නේ මෙහෙමයි. ඔය සියළු බාධක මැඩගෙන ඉදිරියට ගිය පුද්ගලයා තමන්ගේ කොමිස් මුදල හැටියට ඉල්ලන්නේ 1% මුදලක් පමණයි. ඒ කියන්නේ ඩොලර් මිලියන 20යි. (ඇමරිකන් ඩොලරයක් රු 110 ක් ලෙස ගත්තත් මේ මුදල රුපියල් මිලියන 2200ක්, කෝටි 220ක්) ඔන්න එතකොට කෝටි නෙවෙයි ප්‍රකෝටි පතියෙක් ක්ෂණිකව කොමිස්ලන්තේ පහළ වෙනවා. එතනින් පස්සේ ඔය යෝජිත ව්‍යාපෘති කොමිස්ලන්තේ ඊළඟ අයවැය වාර්තාවට ඇතුලත් වෙන එක එච්චර දෙයක් නෙවෙයි.

මාධ්‍යවල බයිලා ගහන ආචාර්ය මහාචාර්යවරයෙකුට රු 1,00,000ක් දුන්නත් මොකද ඔය ව්‍යාපෘති ගැන වර්ණනාවක් කරනවා නම්. ඔය යක්කු විශ්ව විද්‍යාලයේදි මාසෙකටම ගන්නෙත් රුපියල් 50000යි…!

ලංකාවේ ජාතික ව්‍යාපෘතික් බිහිවෙනවා පිට ඉන්න අපිට පෙන්නේ ආසියාවේ ආශ්චර්ය පහළවුනා වගෙයි. සමහරවිට ඊළඟ අවුරුද්දෙ එක අමාත්‍යාංශ පහකට තියෙන එකම වැඩේ බවට මේ යෝජනාව පත්වෙනවා. ව්‍යාපෘති නිසා පරිසරයට, වන සත්තුන්ට තියා මිනිස්සුන්ට වුනත් හෙණ ගහලා ගියාට ගණන් ගතයුතු නැත. ව්‍යාපෘතියට අදාළ "සියළු භාණ්ඩ වැඩි මිලට ආධාර සපයන රටෙන් ලබාගත යුතුයි" යන කොන්දේසි හෝ "කම්කරුවන් එම රටෙන් ආනයනය කළ යුතුයි" වැනි කොන්දේසි පඩයකටවත් ගණන් ගත
යුතු නැත.

කොහොම වුනත් ව්‍යාපෘතිය අනුමත වුනාට පස්සේ ඒකේ නිර්මාපකටය තියෙන්නේ තමන්ගේ 1%ක කොමිස් මුදල අරගෙන කොපිරයිට් පිටින් රජපවුලට බාර දෙන්න. එක හොරකමකින් පස්සෙ, අදින්නාදානාව මාර පවු වැඩක් වගේ විකාර ඔලුවෙ හොල්මන් කරන්ඩ ගත්තොත් එහෙම, ක්ෂණික කෝටිපතියට තමන්ගේ ජීවිත කාලෙම පැත්තට වෙලා ජීවත් වෙන්නත් ඕන නම් අවකාශ තියෙනවා.

සල්ලි හොයන්න නියම ධනාත්මක චින්තනය මේකයි! කොමිස්ලන්තේ නම් සමහරු තමන්ගේ නිවස රුපියල් කෝටි 10ක් විතර වැය කරලා හදලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට කෝටි 50ක් විතර වැයකරලා, තමන්ට ඡන්දෙ දුන්න අයට හොඳට සළකලා, තවත් කොටි 100ක් විතර පොතේ දාගන්නත් මේ වගේ ව්‍යවසායකයන්ට හැකිවෙලා තියෙනවා.

ජොබ් නැතුව වේලෙන උපාධිදාරීන්ට, ඔළුව තිබුණත් අතමිට නැති ව්‍යවසායකයන්ට, අවසාන වශයෙන් වේලි වේලි ඉන්න ලංකාවේ තාරුණ්‍යයට, ගෙවල්වලට නාකි වෙවී නියපොතු කිලෝ ගණං කකා ඇපෙන්ඩිසයිටිස් හදා ගන්නවා වෙනුවට.... කරනව නම් මෙන්න වැඩ.........!!!

පසුසටහන-

මේ වැඩේ පටන් ගැනීමට අයෙක් උත්සාහකරනවා නම් මුලින්ම මානසිකව ඒ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා හොඳම අභ්‍යාසයක් වන්නේ ලංකාවේ පවතින පොඩි පොඩි ව්‍යාපෘති (පාරවල් සෑදීම, තාර දැමීම, විදුලිය ලබාදීම, නල ජලය ලබාදීම වැනි) සඳහා වැයවන මුදල් ගැන සඳහන් බෝඩ් ලෑලි කියවීමය. ඒ සඳහන් වන මුදලින් 1%ක සිට 5% දක්වා ශුද්ධ ලෙස කොමිස් ලබාගත හැකි බව සිතේ තබා ගත යුතුය. එය මෙකී ව්‍යවසාය සඳහා යොමුවීමට මනා උත්තේජනයක් සපයනවා නියතය. වැඩිකල් නොගොස් අදම වැඩ අරඹමු…!!!!
copyright by http://www.boondi.lk/

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails