ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත" | ||||
| ||||
"අපෝ, මට එපා.." "කතා කරන්න එපා!" අම්මා සැර කළා. "මේ යොදය පිරිලා.." "මොන යොදයක්ද?" තාත්තා ආවා. එයා අපි දිහා බලලා, "මොකද දෙන්නත් එක්ක බර කතාවක්" කියලා ඇහුවා. "බලන්නකෝ මෙයාගෙ විකාර! මේ කෑම කන්න බෑ කියනව. මෙයා තව ටික දවසකින් අවුරුදු එකොළහ ලබනව. ඒත් තාමත් තොත්ත බබෙක් වගේ වැඩ කරන්නෙ.." මට තව ටික දවසකින් ලබන්නේ අවුරුදු නවය. ඒත් අම්මා හැමතිස්සෙක කියන්නෙ මට එකොළහක් වෙනව කියල. මට අවුරුදු අටේදි එයා කිය කිය හිටියේ මට ඊලඟට ලබන්නේ දහය කියලා. "ඇයි මෙයා කන්නෙ නැත්තෙ?" තාත්තා ඇහුවා. "ඇයි සුප් එක කරවුණාද? එහෙම නැත්තං ලුණු වැඩි වුණාද?" "මේ උණු කරපු කිරියි, නූඩ්ල්සුයි. ඒ මදිවට යොදේ පිරිලා" තාත්තා ඔලුව වැනුවා. "හා. ඒකත් එහෙමද! අපේ මහරජතුමට මේ කෑම රහ මදිවෙලා. එයාට රිදී බාජනේක දාලා අමෘතෙ ඕනෙ වෙලා!" මට හිනා. තාත්තා හැම තිස්සෙම ඔහොම විහිළු කරනවා. "මොනවද අමෘතෙ කියන්නෙ..." "මන් දන්නෙ නෑ. මොනව හරි රහම ජාතියක්. ඔන්න ඔය සුප් එක බීලා දාන්න ඩෙනිස්.." "ඒත් තාත්තෙ මේකෙ යොදේ තියනව" "ඔයාට සැප වැඩිවෙලා කොල්ලෝ!" තාත්තා එහෙම කියල අම්මා දිහාට හැරුණා. "මෙයාගෙ පිඟාන අයින්කරන්න. මට මෙයා දිහා බලන්නත් එපා වෙනවා. මෙයාට ත්‍රිපෝෂ කන්නත් බෑ. නූඩ්ල්ස් සුප් බොන්නත් බෑ. පුදුම වදයක්නෙ! මට නං මෙව දැකල ඇති වෙලා..." තාත්තා මගෙ ඉස්සරහපිට වාඩිවෙලා මං දිහා බැලුවෙ ජීවිතේ කවදාවත් මාව දැකලා නෑ වගෙ. එයා මොනවත් කිව්වෙ නෑ. ඒත් එකදිගටම මං දිහා බලාගෙන හිටියා. මං වහාම හිනාවෙන එක නැවැත්තුවා. මට තේරුණා මේක තව දුරටත් විහිළුවක් නෙමෙයි කියලා. තාත්තා එහෙමම සද්දයක් නැතුව හිටියා. අම්මයි මමයි ගල් ගැහිලා වගෙ හිටියා. ඊට පස්සෙ ඔන්න තාත්තා කතා කරන්න පටන් ගත්තා. ඒත් එයා කතා කළේ මටවත් අම්මටවත් නෙමෙයි. හරියට අපිට න්පෙනෙන කෙනෙකුට්‍ර වගේ. "මං හිතන්නෙ නෑ කවදාවත් මට ඒ නරක සරත් කාලෙ අමතක වෙයි කියලා" තාත්තා කිවුවා. "මොස්කව් නගරෙ හරිම සීතලට අඳුරු වෙලා තිබුණ. ඒ යුද්ද කාලේ. නාසි හමුදා නගරෙට ගහන්න පටන් අරන්. අපි හැමෝම සීතලෙන්, බඩ ගින්නෙන් මිරිකිලා හිටියේ. මිනිස්සුන්ගෙ මූණෙ හිනාවක් නෑ.හැමෝම පැයෙන් පැයට රේඩියෝ එකෙ ප්‍රවෘත්ති අහනව" "මට ඒ කාලේ අවුරුදු එකොළහක විතර ඇති. මං හරි වේගෙන් වැඩුණ. ඉක්මනට උස ගියා. ඒ හින්දම හැම තිස්සෙම බඩගිනි ආවා. කවදාවත් බඩ පිරෙන කල් කන්න හම්බවුණේ නෑ. මං හැම තිස්සෙම අම්මගෙන් කෑම ඉල්ලුවා. ඒත් ඒගොල්ලන්ට ලැබුණෙ පුංචි පාන් සලාකයක් විතරයි. ඒක තමයි අපි බෙදාගෙන කෑවෙ. ඒකත් මගෙ බඩට මදි. මං හැමතිස්සෙම නිදාගන්න ගියෙ බඩගින්නෙ. හීනෙන් දැක්කෙ පාන්. හැම තැනම ඔහොමයි. ඒ කාලෙ ගැන කොච්චර දේවල් ලියවිලා තියෙනවද? " "දවසක්දා මං නගරේ පුංචි වීදියක් දිගේ යනකොට, ට්‍රක් එකක පැණි කොමඩු ගොඩ ගහල තියෙනව දැක්ක. මං දන්නෙ නෑ ඒක මොස්කව් නගරෙට කොහොම ඇතුළු වුණාද කියලා. ඒගොල්ලො ආධාර බෙදන කට්ටිය වෙන්නැති. කෙට්ටු මනුස්සයෙක් ට්‍රක් එක උඩ නැගලා හිටියා. එයා කොමඩු ගෙඩියක් අරගෙන ඒක තව මනුස්සයෙක් අතට විසි කලා. එයා ඒක අරගෙන පළතුරු ගබඩාවෙ වැඩකරපු ගෑනු කෙනෙකුට දුන්නා. එයා තව කාට හරි දුන්න. ඔය වගේ මිනිස්සු කට්ටිය එකතු වෙලා, ට්‍රක් එකේ ඉඳල පළතුරු ගබඩාව ඇතුළට කොමඩු අතින් අත යැවුවා. කවුරු හරි දක්කම හිතයි ඒගොල්ලො ඉරි වැටිච්ච කොළපාට බෝල අල්ලන සෙල්ලමක් කරනවය කියල" "මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා. එයා හරිම කරුණාවන්ත පාටයි. අන්තිමට ඒගොල්ල දිහා බලාගෙන ඉඳලා මට එපා වුණා. මං ආපහු ගෙදර යන්න හැරෙන කොටම තමයි, ඒ ගොල්ලන්ට පැණි කොමඩු ගෙඩියත් අතෑරුණේ. ලොකු කොමඩු ගෙඩියක් විසිවෙලා ඇවිත් පාරෙ හැපුනා. හරියටම මං ලඟ. ඒක පිපිරුණා. කොමඩු ගෙඩිය ඇතුලෙ රතුපට මදෙයි, කලුපාට ඇටයි එක්ක ඇතුලෙ හීනි සුදුපාට ලෙල්ල... පැණි බේරෙන කොමඩු ගෙඩියයි, ඒකෙ සුවඳයි දැනුනම මට දැනුණා මං කොච්චර බඩගින්නෙද හිටියෙ කියලා. මං අහක බලාගෙන ගෙදර යන්න හැරුණා. අඩි දෙක තුනක් යනකොට මට ඇහුන කවුද කෑගහනව" "ඒයි ළමයෝ...ළමයෝ" "මං හැරුණා. ට්‍රක් එක උඩ ඉඳලා මට හිනාවුණු මනුස්සයා මං දිහාට එනවා. එයා අතේ අර පැලිච්ච කොමඩු ගෙඩිය" "ආ පුතා මේක ගන්න. ගෙදර අරන් යන්න. මේක ඔයාට..." | ||||
| ||||
"ඒ සරත් කාලෙත් සීත දැනෙන්න පටන් අරන් තිබුණ. හිම පියලි වැටිලා හුළඟට පාවෙලා ගියා. අපිට දැං ඉස්සර තරම් වත් කන්න නෑ. නාසි හමුදා මොස්කව් නගරෙට එන්න එන්නම ලංවුණා. මට බඩගිනි වුනා. ඒත් මං ඒ වෙනකොට හීන දැක්කෙ පාන් කන්න නෙමෙයි. පැණි කොමඩුයි පානුයි කන්න. දවසක් දා මං උදේ නැගිටිනකොට බඩ පිටටම ඇලිලා. බඩක් නෑ වගෙයි පෙනුණෙ. මට කෑම ඇරෙන්න වෙන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා. මං වාල්යා ගේ ගෙදර ගිහින් කිව්වා "අපි පැණි කොමඩු මාවතට යමු. සමහර විට අදත් කොමඩු බාන්න බැරි නෑ. ආයෙමත් ගෙඩියක් විසිවෙලා පැලුණොත් එහෙම අපට ඒක හම්බ වෙයි" කියල. "අපේ ආච්චිලගෙ සාලු කරවල් වටේ ඔතාගෙන, කබායයි තොප්පියි දාගෙන අපි ගියා. ඒ මොකද උහුලන්න බැරි තරං සීත නිසා. අපි පැණි කොමඩු මාවතට ගියා.ඒක හරිම මූසල දවසක්. වීදියෙ මිනිස්සු හිටියෙ නැති තරං. හරිම නිස්සද්දයි. කොහොමටවත් දැං වගෙ නෙමේ. පැණි කොමඩු මාවතේ මිනිස් පුළුටක් වත් නෑ.අපි ගබඩාව ලඟ හිටගෙන පැණි කොමඩු අරන් ට්‍රක් එකක් එනකල් බලා හිටියා. ගොඩක් වෙලා හිටියා. කරුවල වැටුණ. ඒත් තවම ට්‍රක් එක නෑ." "බාගදා හෙට එන්න බැරි නෑ..." මං කිව්වා. "ඔව්. බාගදා හෙට ඒවි.." වාල්යාත් එකඟ වුණා. ඉතිං අපි ආපහු ගෙදර ගියා. ඊලඟ දවසෙත් අපි ආයෙමත් පැණි කොමඩු මාවතට ගියා. ට්‍රක් එකක් තියා මොකක් වත් නෑ. අපි එදා ඉඳන් හැමදාම ගියා. බලාගෙන හිටියා. බලාගෙන හිටියා. ඒත් ඒක කවදාවත් ආයෙ ආවෙ නෑ." තාත්තා කතාව නැවැත්තුවා. එයා ජනෙලෙන් එහා පැත්ත බලාගෙන හිටියෙ හරියට අම්මටවත්, මටවත් පෙන්නෙ නැති දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ. අම්මා තාත්තා ලඟට ගියා. ඒත් තාත්තා එක පාරටම නැගිටලා කුස්සියෙන් යන්න ගියා. අම්මා තාත්තගෙ පස්සෙන් ගියා. මං තනි වුණා. මමත් තාත්තා කළා වගේ, වාඩිවෙලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන හිටියා. එකපාරටම මටත් තාත්තයි වාල්යයි සීතලෙන් ගැහි ගැහී බලාගෙන ඉන්නව මැවිල පේන්න පටන් ගත්ත. සුළඟයි, හිමයි ඒ ගොල්ලන්ගේ ඇඟවල් වල හැපුණ. ඒගොල්ලො සීතලට ගල් වෙලා. ඒත් හිටගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. නිකම්ම බලාගෙන ඉන්නව...! මං කොච්චර බය වුණාද කියනවා නං මගෙ පිඟාන බදාගෙන මට පුළුවං තරං හයියෙන් කාගෙන කාගෙන ගියා. ඊට පස්සෙ මං ඒක ඇල කරලා, අන්තිම කිරි බිංදුව දක්වා බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ පාන් කෑල්ලකින් පිඟාන පිහලා ඒකත් කෑවා. වෙන එකක් තියා හැන්දත් ලෙව කෑවා! | ||||
The Adventures of Dennis by Victor Dragunsky සිංහල පරිවර්තනය "ඩෙනිස්ගේ දස්කම්" කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය විජේසූරිය ප්‍රකාශනයකි.[2005] | ||||
Victor Dragunsky | වික්ටර් ඩ්‍රැගුන්ස්කි |
Thursday, July 8, 2010
ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත"
Subscribe to:
Post Comments (Atom)
y r u coping posts from other blogs....disgusting....
ReplyDelete