Tuesday, July 6, 2010

වේසිය සහ භික්ෂුව


ඊයේ රෑ
පිටකොටුවේ ඩොමීනියන් හෝටලයේ
නයිට් එකක් කරලා මම්
ගෙදර එද්දි...

කසා වතක් ඇඳගෙන ඔබ
සෙනග ගොඩේ රැකලා සිට
හත් පලකට
ඇයි මට පිහියෙන් ඇන්නේ?

ඒ වේලේ
මං දැක්කා
ඔය මූනේ
සාප හතක්

රතී කත්ත නම් මදන යක්ෂනී
විරහ කත්ත නම් මදන යක්ෂනී
කාම කත්ත නම් මදන යක්ෂනී
බූත කත්ත නම් මදන යක්ෂනී
රකුසු කත්ත නම් මදන යක්ෂනී
පිස්සු කත්ත නම් මදන යක්ෂනී
තත්ත හතෙන් එන මදන යක්ෂනී

....එපා
....ඒ ලෙස එපා
ක්‍රෝධයේ පිළිකුලේ ඇස් දෙකෙන්
නොමරනු තවත් මා

අනංග රංගයක් නොව
තිත් වැටුන ගෙවීගිය රාත්තිරිය
තොංඩුවෙන් ඇඟ වෙළන
ලේ උරන
මාපිලෙකි.

ඇඟේ මස් ගිනිජල්ව
සිතේ පණ ඔද්දල්ව
ගෙදර එද්දී
ඉර එළියෙන් පිරිසිදු වී
අඩන පුතු සොයාගෙන

....එපා
ඒ ලෙස එපා
ක්‍රෝධයෙන් පිළිකුලේ ඇස් දෙකෙන්
නොමරනු තවත් මා

(අකීකරු පුත්‍රයකුගේ ලෝකය 1974)
Parakrama Kodituwakku | පරාක්‍රම කොඩිතුවක්කු

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails