Thursday, July 8, 2010

මගේ මාළුවා


දැන් වගේ නෙවේ. ඒවා හුඟක් දිග දවස්. ඇස් දෙක පියා ගත්තම මට ඒ දවස් වල තත්පරෙන් තත්පරේ මතක් වෙනවා. පේනවා. ආච්චිලගෙ ගෙදර උස පඩිපෙළ බැහැපු තැනම දෙපැත්තෙන් තිබුණෙ සිනියාස් මල් පාත්ති දෙකක්. ඒ දෙක හැදූවෙ චූටි පුංචියි මමයි එකතු වෙලා. ඒ ගෙදරට සීයලගෙ ගෙදර හරි අම්මගෙ මහ ගෙදර හරි නොකියා ආච්චිලගෙ ගෙදර කියලා මම කියන්නෙ ඇයි? ඒ ගැන මට මේ ළඟදිත් හිතුනා.
මම ඇර වෙන කව්රුත් ඒ ගෙදරට ආච්චිලගෙ ගෙදර කියන්නෙ නෑ. ගමේ අය කිව්වෙ කස්ටම් මහත්තයලගෙ ගෙදර කියලා. මාමල කිව්වෙ අපේ ගෙදර කියලා. මාමලගෙ පුංචිලගෙ ළමයි කිව්වෙ සීයලගෙ ගෙදර කියලා. ඒ ගෙදරට ආච්චිලගෙ ගෙදර කියලා කිව්වෙ මං විතරයි.

පුංචිගෙ සිනියාස් මල් පාත්ති දෙකේ හැම පාටකම වගේ සිනියාස් මල් පිපුණා. සමහර සිනියාස් ගස් වල පිපෙන්නෙ තනි පෙති රවුමක් තියන මල්. තවත් සමහර ඒවයෙ රෝස මල් වගේ පෙති රවුම් ගොඩක් තියන මල් පිපෙනවා. ඒ මල් ලොකුයි, ලස්සනයි. තනි පෙති රවුමෙ මල් වගේ නෙවේ ඇහැට කනට පේනවා. මම මල් වලට ආසා වුණා වගේම සත්තුන්ටත් ආසා වුණා. සීයගෙ පරණ සපත්තුවක ලොකු ගෙම්බෙක් පදිංචි වෙලා හිටියා. චූටි මාමා ඌව කොච්චර ඈතට ගිහින් දැම්මත් හවසට ඌ පැන පැන උගෙ පුරුදූ ගේ, සීයගෙ පරණ සපත්තුව හොයාගෙන ආපහු එනවා. පස්සෙ පස්සෙ කවුරුවත් ඌව එලවන්න එච්චර මහන්සි වුනේ නෑ. ඌව එලවන්න ඕනෙ නං පරණ සපත්තුව වීසි කරලා දාන්න හරි ඌට නගින්න බැරි තරම් උඩකින් තියන්න හරි ඕනෙ කියලා ඒ දවස් වල කාටවත් හිතුනෙ නැති එක ගැන දැන් මට පුදූමත් හිතෙනවා. ඒ ගෙමිබා මගෙ යාළුවා. මම හැමදාම රෑට ටෝච් එක ගහලා උගෙ ගේ ඇතුළෙ ඌ සනීපෙට නිදියන හැටි බැලුවා.

මාමලගෙ පුංචිලගෙ ළමයි ගෙම්බන්ට කැමති වුණේ නෑ. හැමෝම කිව්වෙ ගෙමිබො, හූනො, කටුස්සො වගේ සත්තු කැතයි, ජරාවයි කියලා. මොකද මන්දා මටනං උන් ලස්සන අපූරු සත්තු. වෙලාවකට මම පොඩි පොඩි ගෙඹි පැටව්, හැකරැල්ලො අල්ලනකොට හෙක්ටර් මාමාගෙ ළමයි කෑ ගහනවා ජරාව කියලා. මං සමහර වෙලාවට චූටි හැකරැලි පැටියෙක් අතේ ගුලි කරලා මාමාගෙ දූවට දෙනවා ''ආ ටොපියක් කියලා'' එයා ගිරිය යටින් කෑ ගහගෙන දූවන හැටි බලන්න.

තව මම ආසා වුණා මාළුන්ට. ආච්චිලගෙ ගෙදර තිබුණෙ කැළණි ගඟ අයිනෙමයි. හැමදාම අපි නාන්න යන තොටුපොළක් තිබුණා. ඒකට කිව්වෙ ලිසීගෙ තොට කියලා. ඒ ඇයි කියලා මම ඇහුවම කවුරුවත් ඒ නම හැදූන හැටි හරියට දැනගෙන හිටියෙ නැහැ. සමහර විට ලිසී කියලා ගෑනියෙක් එතනින් ගඟට පැනලා මැරෙන්න ඇති කියලා මම හිතුවා. ඉතිං මං හිතෙන් ලිසී ගැන කතා ගෙතුවා. හුඟක් වෙලාවට ගඟට පැනලා මැරිච්ච ලිසී ගැන හිතනකොට මගෙ ඔලුවට ආවෙ අම්මා. එයා ඒ දවස් වල හුඟක් දූකින් හිටියෙ තාත්තා හිරේ හිටපු එක ගැන. සමහරදාට රෑට එයා හොරෙන් අඬනවා. මං නිදි වගේ බොරුවට ඇස් පියාගෙන අහගෙන ඉන්නවා. වෙලාවකට මටත් ඇඬෙනවා. ඒ වෙලාවට සද්දෙ ඇහෙයි කියලා බයට මං කොට්ටෙ විකා ගන්නවා. ගඟේ නාන්න ගියාම චූටි පුංචියි ලොකු පුංචියි පීනනවා. අම්මා පීනන්නෙ නැතුව පැත්තකට වෙලා නානවා. වෙලාවකට මම අහනවා අම්මා පීනන්න දන්නෙ නැද්ද කියලා? ලොකු පුංචි බක බක ගගා හිනා වෙවී කියනවා '' චූටි ඔයාලගෙ අම්මා පීනලා කප් ගහපු කෙනෙක් '' කියලා. ඇත්තටම අම්මට හොඳට පීනන්න පුළුවන් කියලා මම දැනගත්තෙ පස්සෙ කාලෙක. නාන්න යනකොට මම හැමදාම හිස් ජෑමි බෝතලයක් අරන් යනවා. නාන ගමන් චූටි මාළු පැටව් ඒකට අල්ල අල්ල දානවා. ගෙදර ගෙනත් දවසක් විතර තියං ඉඳලා ආපහු ගඟටම ගෙනත් දානවා.

ඒ කාලෙ ගඟේ මිනී යන කාලෙ. ආච්චි පුංචිලට සමහරදාට සැර කරනවා ඔය පොඩි එකත් එක්ක ගඟේ නාන්න යන්න එපා කියලා. ඒත් පුංචිලා මාව එක්ක යනවා. මාමලා නාන්න ගියෙ පුංචිලා වගේ දෙකට තුනට නෙමේ පහට හයට. මං දවස් දෙක තුනක් දැක්කා ගඟේ ඉදිමිච්ච මිනි පාවෙනවා. ඒ වෙලාවට පුංචිලා මට අහක බලා ගන්න කියනවා. ඒත් මට ඒ දිහා බැලෙනවා. ඒ දවස් වල කවුරු හරි මගෙ ඔලුවට දාලා තිබුණා කොයි වෙලේ හරි හිරේ ඉන්න අපේ තාත්තත් ඔය විදිහට දවසක ගඟේ පාවෙලා යයි කියලා. එක දවසක් මම දැක්කා මිනියක් ඟං ඉවුරට ගොඩගහලා කබරයි තුන් දෙනෙක් වට වෙලා ඒක කනවා. මට කබරයි දිහා බලන් ඉන්න හිතුනා මිසක් දූකක් බයක් දැනුනෙ නෑ. මට දූක දැනුනෙ පොඩි පොඩි දේ වලට මිසක් ලොකු ලොකු දේවලට නෙමේ. සිනියාස් පැලයක් ගොළුබෙල්ලො කාලා තිබුණොත් මට ඇඬුනා.

කවුරු හරි අම්මට කියලා තිබුණා මාව මොකක් හරි විනෝදාංශෙකට යොමු කලොත් තාත්තා නැති සාංකාව මගෙන් ඇරෙයි කියලා. ඉතිං අම්මා මගෙන් ඇහුවා මං ආස දේවල්. ගත් කටටම ඕනෙ කිව්වෙ මාළු ටැංකියක්. ටික වෙලාවකින් ආයිත් කිව්වා මට චිත්‍ර අඳින්න සුදූ කොළයි පාටයිත් ඕනෙ කියලා. මං ආසා වුණේ මිනිස්සුන්ගෙ චිත්‍ර අඳින්න. දැනටත් මම මම ගැනම හුඟක් විශ්වාසෙන් කරන දෙයක් තමා චිත්‍ර අඳින එක. අම්මා මාත් එක්කම ගිහින් මාළු ටැංකි විකුණන කඩේක මාළු ටැංකි බැලුවා. ඒවා හුගාක් ගණන්. පුංචිම පුංචි ටැංකිය පවා අපිට ගන්න බැරි තරම් ගණන්. මාව ඉස්කෝලෙ එක්ක යන්නත් අම්මට සල්ලි දූන්නෙ සීයා. මගෙ පොත් වලට ඇඳුම් වලට වියදම් දැරුවෙ මාමලා. තාත්තව බලන්න යන්න වුණත් අම්මා එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ල ගත්ත හැටි මට මතකයි. ඒ සල්ලි දෙන අය දැනං හිටියා ඒවා ආයෙ ලැබෙන සල්ලි නෙමේ කියලා.

අපේ සීයයි ඒ පවුලෙ හැමෝමයි කැපුවත් කොළ. කැපුවත් කොළ කිව්වෙ ඇයි කියලා මට පස්සෙ කාලෙකයි තේරුණේ. ලොකු බෑනා රතු පැත්තට වැඩ කරලා හිරේ ගිය එක ගැන සීයලා දූකටත් වැඩිය තරහකිනුයි හිටියෙ. අම්මා නිකං හිඟන්නියක් ගානට වැටිලා හිටියා. මං පොඩි එකා නිසා කවුරුත් මට අනුකම්පා කළා. මිනිස්සු අනුකම්පා කරනවා කියන්නෙ අදටත් මට මහ හිරිකිත දෙයක්. උදව් කරන එක වෙනයි, අනුකම්පා කරන එක වෙනයි. අනුකම්පාව ඇතුලෙ මිනිස්සු තමන් ගැනම මහ මෝඩ තකතීරු තක්සේරුවකට යන හැටි දැන් දැන් මට පේනවා. ''පව් සිරිල්ගෙ පොඩි එකා, අනේ නාලනී ඔයාට මේ දවස් වල සල්ලි වලින් කරදරත් ඇති '' කියාගෙන ඉඳලා හිටලා ඇවිත් යන කමනි නැන්දා ගේන මිදි මම කවදාවත් කෑවෙ නෑ. ඒවා කෑවෙ චූටි මාමා. කමනි නැන්දා දවසක් ආච්චිත් එක්ක කිව්වා ''තාත්තල කරන වැරදි වලට ළමයින්ට වන්දි ගෙවන්න වෙන කතාවක්'' . ඒකෙ තේරුම අම්මාගෙන් අහන්න ගිහින් අම්මා දවසක්ම නොකා හිටියා.

මගෙ වදෙන් බේරෙන්න බැරි තැන අම්මා චූටි මාමාට කංකෙඳිරි ගාලා මට චූටි සිමෙන්ති මාළු ටැංකියක් හදෝල දූන්නා . ඒක හවුල් ටැංකියක්. මගෙයි චූටි මාමාගෙයි. චූටි මාමා මං ගැන තරහකින් ඉරිසියාවකින් හිටියද කියලත් මට වෙලාවකට හිතෙනවා. එයා කවුරුවත් නැතිතැන මට කෙනිත්තුවා, ටොකු ඇන්නා. සීයලෑ ගේ එයාට කියලා මං දැනං උන්නා.

සමහරවිට අම්මයි මායි ඒක අයිති කරගනී කියලා බයක් ඒ වයසට එයාට හිතුනද මන්දා. බත් ඉව්වම ආච්චි කොත ගහලා බත් එකක් බෙදලා හොදි මාළු පිනි වලිනුත් හොඳ හරිය චූටි මාමට වෙන් කරලයි අනිත් අයට බෙදන්න පටන් ගන්නෙ. මං හිටියෙ චූටි මාමා ගැන ලොකු තරහකින්. එයාගෙ වැඩ වලට මම හවුල් වෙනවට එයා කවදාවත්ම කැමති වුනේ නෑ. ඒත් අපි දෙන්නට තිබුණෙ හවුල් මාළු ටැංකියක්. එයා ඒකට කළු ගල් ගොඩක් පුරෝලා වෙලෙන් ගෙනාපු වතුරෙ වැවෙන ගස් ජාති හිටෙව්වා. මට ඕන වුනේ ගඟේ වගේ සුදූ වැලි අඩියට දාලා මාළුන්ට පීනන්න හොඳට ඉඩකඩ තියන ටැංකියක් හදන්නයි. එතකොට එයා කිව්වෙ මාළු කැමති හැංගිලා ඉන්න කියලා. අන්තිමට එයාගෙ විදියටයි ටැංකිය සැරසුනේ.

මට ඕනෙ වුණේ ටැංකියට ගඟේ මාළු දාන්න. එයාට ඕනෙ වුණේ පාට පාට රට මාළු දාන්න. අන්තිමට ඒ වැඩේට මාත් කැමති වුණා. එයා කිව්ව රට මාළු ගඟේ මාළු වගේ නෙමේ හැම පාටින්ම ඉන්නවනෙ. එයා මාළු ගෙනාවා. මට තිබුණෙ ටැංකිය දිහා බලා ඉන්න විතරයි. ටැංකියත් එයාගෙ මාළුත් එයාගෙ. මං මාළුන්ට කන්ඩ දානවටවත් එයා කැමති වුණෙ නෑ. එයා හිතුවෙ මං හුඟක් කෑම දාලා වතුර නරක්වෙලා මාළු මැරෙයි කියලා. මං ඉතිං උදේ නැගිට්ට ගමන් ගිහින් ටැංකිය දිහා බලන් ඉන්නවා. පෙලක් වෙලාවට බඩ ලොකු මාළුවෙක් දැක්කොත් මට හිතෙනවා ඌ කොයිවෙලේ හරි පැටව් දායි කියලා. ඉතිං මං බලන් ඉන්නවා. මං රෑටත් ටෝච් එක ගහලා බලනවා මාළු නිදිද කියලා. ඒත් උන් කවදාවත් නිදියනවා මම දැකලා නෑ.

දවසක් තාත්තා බලන්න ගිහින් අම්මත් එක්ක එද්දි මං දැක්කා මාළු විකුණන තැනක්. මම පොළොවෙ හැපිලා මාළුවෙක්ව ඉල්ලලා හිටියා. අන්තිමේ අම්මට මාව එතනට එක්ක යන්න වුණා. එතන මාළුන්ගෙ ගණන් ඇහුවම අම්මගෙ ඇස් හීන් වුණා. අපි මාළු බලලා බලලා අන්තිමේ නැට්ට නැමිච්ච ගෝල්ඩ් ෆිෂ් මාළුවෙක් අම්මා මට අරන් දූන්නා. දැන්නම් මට හිතෙනවා ඌ ආබාධිත එකෙක් නිසා එතන මුදලාලි අම්මට ඌව ලාබෙට දෙන්න ඇති කියලා. ඒත් ඌ වෙනස් එකෙක් නිසා මං ඌට පපුව පිරෙන්න ආදරේ වුණා.

චූටි මාමා කැමති වුණේම නෑ මගෙ මාළුවව එයාගේ ටැංකියට දානවට. ඒත් අන්තිමේ චූටි මාමාට සිද්දවුනා එයාගෙ ටැංකියෙ මගෙ මාළුවට ඉඩ දෙන්න. මම ගෙදර හිටිය හැම වෙලේම කලේ මගෙ මාළුවා දිහා බලන් ඉන්න එක. ජීවිතේ මගෙම කියලා මට දැනිච්ච පළවෙනි දේ ඒ මාළුවා. අනිත් මාළු හැමෝටම වඩා ඒ මාළුවාව මට ලස්සනට පෙනුනා. උගෙ කැත ඒත් අමුතු ලස්සනක් තිබුණා. දැන් වුනත් ඇස් දෙක පියා ගත්තම මට ඌව මතක් කර ගන්න පුලුවන්.

දවසක් උදේක නැගිට්ට ගමන් වෙනදා වගේම මං මාළු ටැංකිය ගාවට දිව්වා. අනේ මගෙ මාළුවා හිටියෙ නෑ. ඉස්සෙල්ලාම මට හිතුනෙ ඌ ටැංකියෙන් බිමට පැනලා කියලා. මං ටැංකිය වටේ හැමතැනම හෙව්වා. ඒත් ඌ හිටියෙ නෑ. ඊළඟට මට හිතුනෙ චුටි මාමා ඌව අල්ලලා විසික් කරන්න ඇති කියලා. එයා නිතරම කිය කියා හිටියෙ නැට්ට නැමිච්ච කැත ගෝල්ඩ් ෆිෂ් මාළුවා නිසා එයාගෙ ටැංකිය කැත වුණා කියලා. මට ගලක් අරන් ටැංකිය කුඩු පට්ටං කරන්න හිතුනා. ඒත් ටැංකියෙ අනික් මාළු ගැන හිතලා මම එහෙම කලේ නැහැ. තරහ වැඩි කමට මට ඇඬුනෙත් නැහැ. මං හැමතිස්සෙම හිතුවෙ අඬන එක මහ ලැජ්ජා නැති බාල වැඩක් කියලා. කොයිතරං කඳුළු වැක්කෙරෙන දූකකදි වුනත් මං කාටවත් නොපෙනෙන්න ඇඬුවා මිසක් පේන්න ඇඬුවෙ නෑ. තොල විකාගෙන හරි කඳුළු හිරකර ගත්තා. දැන් ඒවා මතක් වෙනකොට මට හීනි හිනාවකු යනවා.

මං මාළුවා නැති කතාව මුලින්ම කිව්වෙ චූටි පුංචිට. ඊට පස්සෙ ලොකු පුංචිට. හැමෝම ඇවිත් මාළුවාව හෙව්වා. අන්තිමේ ඌව හොයා ගත්තෙ චූටි මාමා. ඌ ටැංකියෙ ගල් දෙබොක්කාවක මැරිලා හිටියා. ඇස් දෙක සව් ඇට දෙකක් වගේ සුදූ වෙලා. අනික් මාළු කොටලා වරල් ඉරිලා.

අනේ ඌ ඇත්තටම මැරිලා. මගෙ පපුව ඇතුලෙ ලොකු ගලක් හිරවෙලා තියනවා වගේ මට දැනුනා. මං තුවාල වෙන තරං තදින් යටි තොල හපාගෙන බලන් හිටියා. චූටි මාමාගෙ මූණෙ පවා තිබුණෙ දූකක්. ''අපි තව ඔයිටත් ලස්සන මාළුවෙක් ගේමු චූටි'' ලොකු පුංචී කිව්වා. ''අපෝ කොල්ලට මං මාළු ජෝඩුවක්ම ගෙනත් දෙන්නං.'' සීයා කිව්වා . ඒවා නිකං අනුකම්පා කතා. මං මැරිච්ච මාළුවා කෝපි කොළයක් උඩ තියාගෙන ඔහෙ බලං හිටියා. ''චූටි දැන් ඔකා ගඳ ගහයි අපි ඌව වලලමු.'' අන්තිමේ චූටි පුංචි කිව්වා. මං කටිටියෙන් ඈතට ගිහින් මාළුවා දිහාම බලන් හිටියා.

ටික වෙලාවකින් මට මාර නුවණක් ආවා. මං දැනං හිටියා ෆ්‍රිජ් එකේ දැම්මම මාළු නරක් වෙන්නෙ නැහැ කියලා. ලොකුම මාමා ඩුබායි ඉඳලා එවපු ලොකුම ලොකු ෆ්‍රිජ් එකක් ආච්චිලගෙ ගෙදර තිබුණා. මම ඒකත් එක්ක එක එක අත්හදා බැලීම් කරන්න ගිහින් සීයගෙනුයි ආච්චිගෙනුයි අනන්තවත් බැනුම් අහලා තියනවා. දවසක් මට ඕනෙ වුනා භුමි තෙලුත් වතුර වගේ ෆ්‍රිජ් එකේ උඩ කෑල්ලට දැම්මම මිදෙනවද කියලා බලන්න. ඒ වැඩෙන් වුනේ ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ ඔක්කොම එළෝළු මාළු වීසි කරන්න වුනු එකයි. ''මූනං මුගෙ තාත්තා වගේම යක්සයෙක් '' අම්මට හොඳටම තරහ ගිහින් එදා මට පාරකුත් ගැහුවා. තව දවසක මට ඕනෙ වුනා කුරුමිණියෙක් රැයක් ෆ්‍රිජ් එකේ දාලා උදේට ඌ පණ පිටින් ඉන්නවද බලන්න. එදත් මං ගුටි කෑවා .

මං මගෙ මැරිච්ච ගෝල්ඩ් ෆිෂ් මාළුවව වතුර වීදූරුවකට දාලා කවුරුවත් නැති වෙලාවක ෆ්‍රිජ් එකේ උඩ කෑල්ලට දැමිමා. දාලා සැරින් සැරේ වතුර මිදෙනවද කියලත් බැලුවා. මගෙ මහා දූක තුනී වෙලා පපුවට හීන් හුළං රැළි හැමුවා. ඒත් ටික වෙලාවයි. හවස චූටි මාමට වැඩේ අතටම අහු වුනා. ''මේ මොන මල ජරාවක්ද? ලොකු අක්කෙ උඹේ චූටිට කියල දීපං මේවා වටින කියන බඩු මිසක් උගෙ තාත්තා ඌට අරන් දීපු සෙල්ලම් බඩු නෙමේ කියලා'' චූටි මාමා කෑ ගැහුවා. අම්මා මුකුත්ම කිව්වෙ නෑ. එයා මට බැන්නනං මට ඒ තරං දූකක් හිතෙන එකක් නෑ. චූටි මාමා වීදූරුව පිටින්ම මගෙ මාළුවව පිලිකන්නෙ කුණු ගොඩට වීසි කලා. මිදූනු අයිස් කුටිටිය ඇතුළෙ මාළුවව අපැහැදිලිව පෙනුනා. මාළුවා වගේම මගෙ හිතත් මහා අයිස් කුටිටිය ඇතුලෙ මිදිලා වගේ මට දැනුනෙ. ඒක දූකක්වත් තරහක්වත් නෙමේ නිකම්ම නිකං හිස් කමක්. මට ඕනෙ වුනේ කවුරුවත්ම නැති තැනකට ගිහින් මගෙ මාළුවත් එක්ක තනි වෙන්න. ඌව නරක් වෙනවා දකින්න මට ඕනෙ වුණේම නෑ.

අයිස් කුටිටියෙ වතුර වේගෙන් දිය වුණා. මට අලුත් අදහසක් ආවා. කුස්සිය අයිනෙ පිච්චිච්ච බලුබ් ගොඩක් තිබුණා. මං එකක් අරන් පරණ පිහියකින් ගහලා කට කැඩුවා. ලස්සනට රවුමට කට කැඩුනෙ නැති වුනත් නිකං කෝප්පෙක හැඩේ එන වීදූරු භාජනයක් ඒකෙන් හැදූනා. පස්සෙ පරණ මේස ලාච්චුවකින් ඉටි පන්දං කොට ටිකක් හොයන් ඇවිත් ඒවා හුරලා හුරලා එන ඉටි කෑලි වලින් බලුබ් කෝප්පෙ පිරෙව්වා. කුස්සියෙන් කුප්පි ලාමිපුවකුයි ගිනි පෙටිටියකුයි හොයං ඇවිත් වත්තෙ ඈතට ගිහින් ලාමිපුව පත්තු කරලා අර බලුබ් කෝප්පෙ ඉටි ටික උණු කලා. ටික ටික රත් වෙනකොට බලුබ් කෝප්පෙ අල්ලං හිටිය මගෙ ඇඟිලි පිච්චෙන්න ගත්තා. පස්සෙ මං කලේ උස ගල් තුනකින් ලිපක් හදලා යටින් කුප්පි ලාමිපුව තියලා උඩින් බලුබ් කෝප්පෙ තියලා ඉටි ටික උණු කරපු එකයි. ටික වෙලාවකින් ඉටි ටික හොඳට උණු වුනා. මං ගෝල්ඩ් ෆිෂ් මාළුවව ඒ උණු වෙචිචි ඉටි වතුරට දැමිමා. චූස් ගාලා සද්දෙකුත් එක්ක ඌ ඉටි වතුරෙ ගිලුනා. පාන නිමලා මං බලන් හිටියා. ඉටි ටික මිදෙන්න හුඟක් වෙලා ගියා. අන්තිමේ ඉටි ටික මිදිලා ටික ටික සුදූ පාටක් ගැහුනා. ඒ සුදූ පාට ඇතුලෙ අපැහැදිලි අඟරු ගුලියක් වගේ ගෝල්ඩ් ෆිෂ් මාළුවව පේන්න ගත්තා. මට සතුට දරා ගන්න බැරි තරම් . අන්තිමට මම මගෙ මාළුවව රැක ගත්තා. ඌ ආයි කවදාවත්ම නරක් වෙන්නෙ නැහැ. මං මැරිලා කුණු වෙලා ගියාට පස්සෙත් මගෙ මාළුව ඉටි ගුලිය ඇතුලෙ එහෙම්මම ඉඳී. වෙලාවකට මට හිතෙනවා මං මේ එක එක දේවල් ලියන්නෙත් ඒ අරමුණෙන්ද කියලා. මං මැරිලා ගියත් කවුරුහරි කෙනෙක් මේවා කියවයි. එතකොට එක විදියකට මං මැරිලා. එක විදියකට මැරිලා නෑ.

මේ ළඟක් වෙනකම්ම ඒ ඉටි ගුලිය ජීවිතේ පස්සෙ කාලෙක එකතු වෙච්ච එක එක සිහිවටනත් එක්ක මගෙ ළඟ තිබුණා. ඒත් දැන් ඒක හොයා ගන්න නෑ. ඔය කොහෙ හරි අස්සක මුල්ලක ඇති. ආයි පරණ දේවල් අස් පස් කරනකොට හම්බවෙයි.
www.boondi.lk

1 comment:

අතීත සටහන්

Related Posts with Thumbnails