ඒ කාලෙ අත්තම්ම කියා දුන් කතාවල දෙවියෝ ද රකුසෝ ද සිටියෝ
රකුසෝ නපුර කැඳවත් දෙවියෝ මිනිසුනට පිහිට වෙත් එබැවින් මහරු දෙවිවරු මසිතෙහි ලැගුම් ගත්තෝ
දුක් ගිනි නැගෙන මොහොතක රෝ බිය දැණුන දවසක පිහිටක් නොමැති හැම වර දෙවියන් පිහිට යැදුවෙමි
''දෙවියන් මිරිඟුවක් වේ නුඹ විඥානවාදියෙක් වේ'' මගෙ පන්තියේ සොයුරෝ මා හුදෙකලා කෙරුවෝ
සොයුරන් දෙසු දහමින් දෙවිවරු බැහැර කෙරුවෙමි ගස් - ගල් වැන්ද සිත මැඩ බුදුගෙයි පිළිම බින්දෙමි
එහෙත් වෙනදා මසිත පැවතුණු සන්සුන්කමත් ගිලිහුණි අපමණ තැවුල් කරදර ඇති විට කිසිවකුත් නැති වුණි
බිලිඳු මා පුතු උපන් දවසේ සිත යම් තැනක නැවතුණි දැන් දැන් මපුතු ඇසුරේ දෙවියන්, බුදුන් දකිනෙමි
පුතු බුදු සිනා කැල්මේ පිවිතුරු බවින් පිබිදෙමි තුරු අග සිනිඳු මල් මත වැඩ හිඳ දෙවිවරුන් කැඳවමි
සිහිනෙන් ඉකිබිඳින පුතුනේ දුක දැක හදවතින් වැලපෙමි නළලත සිඹින හුස්මෙන් පුතු දුක් මවෙත ඇදගමි
යටි සිත සැඟවූ බුදු රුව පුතු මුව මතින් දකිනෙමි මොළකැටි පුතුගෙ පා යුග බැති සිත පුදා නමදිමි
[අඳුරු වන බිමකි අප නිවසන 2008]
|
No comments:
Post a Comment